සමහර වෙලාවට නිෂ්පාදනයක නමක් ඇහුණ ගමන් අපේ මතකයට එන වෙළඳ සන්නාම තියෙනවා. උදාහරණයක් විදියට සෙරෙප්පු කිව්වොත් Bata, කුඩයක් කිව්වොත් Rainco, රෙදි සෝදන සබන් කිව්වොත් Sunlight වගේ වෙළඳ සන්නාම අපේ මතකයට එනවා. Unilever සමාගම විසින් දකුණු ආසියානු රටවල් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පාකිස්ථානය වැනි රටවල් සඳහා හඳුන්වා දුන් ප්‍රමුඛ සන්නාමයක් වන්නේ සර්ෆ් එක්සෙල් (Surf Excel) කියන්නෙත් ඒ වගේ අපේ මතකයට එක්වරම එන වෙළඳ සන්නාමයක්.

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ අංක එකේ ඩිටර්ජන්ට් පවුඩර් සන්නාමය බවට පවා සර්ෆ් එක්සෙල් පත්වුණා. ඉන්දියාවේ වාර්ෂික අලෙවිය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ පළමු Home and Personal Care Brand එක බවට පත්වෙන්නත් සර්ෆ් එක්සෙල්වලට හැකි වුණා.

සර්ෆ් එක්සෙල් මෙලෙස ප්‍රමුඛ ස්ථානයකට පත්වීමට ප්‍රධාන හේතුවක් වූයේ, ඔවුන් තම නිෂ්පාදනය පාරිභෝගිකයන්ට විකිණීමට වඩා, එම නිෂ්පාදනය පාරිභෝගිකයන්ගේ ජීවිතයට වටිනාකමක් එක් කරන්නේ කෙසේ ද යන කෝණයෙන් සිතා එය මාකට් කිරීමට කටයුතු කිරීමයි. මෙම ලිපියෙන් අපි දකුණු ආසියානු රටවල, විශේෂයෙන්ම ඉන්දියාවේ, සර්ෆ් එක්සෙල් සිය අලෙවිකරණ උපාය මාර්ග (marketing strategies) ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව සලකා බලමු.

සර්ෆ් එක්සෙල් හි ඉතිහාසය සහ වෙළඳපොළට පිවිසි ආකාරය

සර්ෆ් එක්සෙල් සන්නාමය ඉන්දියාවට හඳුන්වා දෙනු ලැබුවේ 1959 වසරේදීයි. නමුත් ඊට පෙර 1948 සිටම එය පාකිස්ථානයේ ජනප්‍රිය වෙමින් පැවති සන්නාමයක් බවට පත්ව තිබුණා. සර්ෆ් එක්සෙල් සන්නාමයේ හිමිකාරිත්වය ඉන්දියාවේ Hindustan Unilever Limited, ශ්‍රී ලංකාවේ Unilever Sri Lanka සහ පාකිස්ථානයේ Unilever Pakistan සමාගම් සතුයි.

ඉන්දියාවට සර්ෆ් එක්සෙල් පැමිණීමෙන් පසු දේශීය ඩිටර්ජන්ට් නිෂ්පාදන රාශියක් වෙළඳපොළට පිවිසියා. 1996 වන විට තරගකාරීත්වය උපරිම අවස්ථාවට පත් වුණා. මෙම කාලය තුළදී මුලින් “Surf” යන නමින් පැමිණි මෙම සන්නාමය “Surf Excel” ලෙස වෙනස් කරනු ලැබුවා. මෙය ඔවුන්ගේ සන්නිවේදනය සහ අලෙවිකරණ උපාය මාර්ගවල විශාල වෙනසක ආරම්භයක්. ඔවුන් තම නිෂ්පාදනය “කුණු දූවිලි පැල්ලම්වලට ඇති හොඳම විසඳුම” ලෙස හඳුන්වා දුන් අතර, “Dirt is good” (කුණු හොඳයි) යනුවෙන් වෙනස්ම ආකාරයේ slogan එකක් ද ඒ සඳහා භාවිත කළා. සාමාන්‍යයෙන් කුණු දූවිලි අප්‍රසන්න දෙයක් ලෙස සැලකුවත් සර්ෆ් එක්සෙල් එය ධනාත්මක අලෙවිකරණ පණිවිඩයක් බවට පත් කළා.

සර්ෆ් එක්සෙල් හි ඉලක්කය වුණේ කවුද?

ඕනම Brand එකක් තම ඉලක්කය බවට පත් කරගන්න වෙළඳ පොළක් තිබෙනවා. සර්ෆ් එක්සෙල් හි ඉලක්කගත වෙළඳ පොළ (Target Market) එක වුණේ මධ්‍යම ආදායම්ලාභී (middle-income) ගෘහණියන්.

ඔවුන්ගේ වෙළඳ දැන්වීම්වලින් මව්වරුන් ඉලක්ක කළ ද එම දැන්වීම්වල දරුවන් ද සිටිනවා. ඔවුන්ගේ අලෙවිකරණ ප්‍රවේශය වූයේ දරුවා මවට සර්ෆ් එක්සෙල් මිල දී ගැනීමට බලපෑම් කරන ආකාරය පෙන්වීමයි. එනම්, තීරණ ගන්නා තැනැත්තිය මව වුව ද බලපෑම් කරන්නා නිවසේ දරුවා බවට පත් කිරීමයි.

පාරිභෝගිකයන්ට පහසු ලෙස නිෂ්පාදන හඳුන්වා දීම

ඩිටර්ජන්ට් වෙළඳපොළ ප්‍රධාන වශයෙන් පවුඩර්, බාර් සහ දියර (powder, bars, and liquid) ලෙස කොටස් තුනකට බෙදෙනවා. සර්ෆ් එක්සෙල් මෙම කොටස් තුනටම අදාළ වන පරිදි විවිධ නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කරන්න සමත් වුණා. මෙය අපි හඳුන්වනවා නිෂ්පාදන විවිධාංගීකරණය (Product Diversification) කියලා.

Surf Excel Quick Wash: ඉක්මනින් කුණු පැල්ලම් ඉවත් කිරීම සඳහා

Surf Excel Easy Wash: සාමාන්‍ය රෙදි සේදීම සඳහා

Surf Excel Matic: රෙදි සෝදන යන්ත්‍ර සඳහා

Surf Excel Liquid

Share this post: